මං ඉපදුන දවසේ ඉඳලම ජීවත් උන පරිසරය ගැන තිබ්බේ මහ අමුතුම හැඟීමක්.මාව පරිසරයට ගැලපෙන්නේ නැද්ද පරිසරය මට ගැලපෙන්නේ නැද්ද කියන එකවත් මට හරියට තේරුම් ගන්න බැරුවයි තිබ්බේ.අඩුම තරමේ අවට පරිසරය තියා මගේම ඇඟේ තියෙන සමහර අවයවයන් මොකට තියෙනවද කියන එකවත් මට තේරුම් ගන්න බැරි උනා.මොකද ඒ අවයව වලින් මට කවදාවත් වැඩක් උනේ නැති නිසයි.
ඉවසලා බැරිම තැන ටිකක් යමක් කමක් තේරුම් යන කාලේදී මං අම්මගෙන් ඒ ගැන අහන්න හිතුවා.
“අම්මේ මොකටද මගේ කකුල් වල මේ විදියට ලොකු කුර ඇවිල්ලා තියෙන්නේ..?”
“ඒ පුතේ අපිට කාන්තාර වල වැල්ලේ එරෙන්නේ නැතුව ඇවිදින්න පුළුවන් වෙන්න නේ..”
“එතකොට මේ පිට මැද්දෙන් ලොකු මොල්ලියක් ඇවිල්ල තියෙන්නේ මොකටද..?”
“කාන්තාරේ හුඟක් දුර කෑම,වතුර නැතුව ඇවිදින්න වෙනවා,එතකොට ඕනේ වෙන්න ශක්තිය ගබඩා කර ගන්න තමයි මොල්ලිය තියෙන්නේ පුතා..”
“ඒ උනාට අම්මේ අපිට කාන්තාරේ ඇවිදින්න තියා අඩුම ගානේ කාන්තාරයක් දකින්නවත් හම්බෙන්නේ නැහැනේ..?”
මං අහපු දේට අම්මට කියන්න දෙයක් තිබුනේ නැහැ.. ටිකක් වෙලා කල්පනාවේ හිටිය මගේ අම්මගේ ඇස් දෙක බලාගෙන ඉන්නකොට තෙත් වුනා.. ඒ හුඟක් ඉස්සර දුර රටක කාන්තාරයක තමන්ගේ දෙමව්පියෝ,සහෝදර සහෝදරියෝ එක්ක සතුටින් දුව පැනලා නිදහසේ ගත කරපු කාලය මතක් වෙලා වෙන්න ඇති කියලා මට පස්සේ දවසක හිතුනා.
තව ටික කාලයක් යනකොට මට මේ සේරම තේරුම් ගන්න පුළුවන් උනා.ඇත්තටම මටවත්,මගේ අම්ම තාත්තාටවත් ආයිත් ඒ පුරුදු නිදහස් ජීවිතයට යන්න වෙන්නේ නැහැ,සතුටින් සහෝදර සහෝදරියොත් එක්ක හිතුමතේට එහෙ මෙහෙ ඇවිදලා අහු උන දෙයක් කාල වැටුන තැන නිදාගෙන ගත කරපු සැබෑ ජීවිතේට යන්න වෙන්නේ නැහැ,අඩුම තරමේ මට ඒ ජීවිතේ මොකක්ද කියලවත් දැන ගන්න වෙන්නේ නැහැ..
එකට හේතුව මං ඉපදුනේ සත්ව උද්‍යානයක වුන එක,ඒක පාලනය කලේ මේ ලෝකේ දියුණුම සත්වයා තමන් කියලා හිතාගෙන උන්නු,ඇඳුම් ඇඳගත්තු සත්ව කොට්ඨාශයක්.උන්ට අනිත් සත්තු බලන්න සත්තුන්ගේ නිජ බිම් උන කැලෑ,කාන්තාර,ගංගා,මහ මුහුදට යන්න අමාරු නිසා අපි සේරම අල්ලාගෙන ඇවිල්ල නගරේ මැද්දේ කූඩු කරලා.උන්ට අඩු වියදමකින් අපිව බලාගෙන සතුටු වෙන්න අපේ මුළු ජීවිත කාලෙම මේ විදියට කෘතීම පරිසරයක පොඩි ඉඩ කඩක හිර කරලා.
නිල් අහස පුරා ඉමක් කොනක් නැතුව පියඹලා ගියපු කුරුල්ලන්ව යකඩ දැල් ගොඩක හිර කරලා අඩුම ගානේ උන්ට තටු දිග ඇරලා ඒක වටයක්වත් ගිහින් එන්න බැරි විදියට.. ගංගා ඇළ දොළ වල,මහ මුහුදේ රංචු පිටින් පීනපු මාළු හිර කරලා පොඩි වීදුරු ටැංකි වල,පොකුණු වල.. හරියට ඉර එලිය වත් වැටෙනේ නැති ගානට.කැලෑ පුරා දුව පැනපු සිය ගණනක් සත්තුන්ගේ නිදහස සිමෙන්ති බැම්මෙන්,යකඩ වැටෙන් සීමා කරලා.
අපිව මෙහෙම හිර කරලා තියන්න අපි කාටවත් කරදයක් කලේ නැහැ.. අපි කවුරුත් අපේ කැලේට,කාන්තාරෙට ගහට කොළට නිල් අහසට තනියෙන් අයිතිවාසිකම් කියන්න ගියේ නැහැ.. දුවිලි අවුස්සගෙන කැලේ පීරාගෙන ආපු සිහිල් සුලඟ අපි හැමෝම ඒක වගේ වින්දා.. පොලව හෝදගෙන ආපු වතුර මග මුහුදට ගලාගෙන යනකන් අපි හැමෝම තිබහට බිව්වා.. බිම් අඟලට ගහ මරා ගන්න ගියේ නැහැ..
නමුත් අපි කකුල් හතරෙන් යන නිසා,ඇඳුම් නොඅඳින නිසා අපේ නිදහස,අයිතිය අපිටත් නොදනිම අද නැති වෙලා,ඉන්න තැනක් තිබුනට,වෙලාවට කන්න ටික ලැබුනට ඒ සේරටම වඩා අපිට අපේ නිදහස කප්පරක් වටිනවා.මගේ අම්ම තාත්ත වගේම මේ ඉන්න සේරම සත්තු මේ හතර සීමාවේ තමන්ගේ මුළු ජීවිත කාලෙම කොටු වෙලා ඉඳලා මැරිලා යයි.
ලැජ්ජාව ඇඳුමෙන් වහගෙන තමන් ලෝකේ දියුණුම සතායි කියගත්තට උන්ගේ මනස මේ ටික තේරුම් ගන්න තරම් දියුණු නැතුව ඇති.එහෙම නැත්තන් ඒ තරමට දියුණු කර ගන්න ඕනේ නැතුව ඇති.