මං මීට ගොඩ කාලෙකට කලින් මැලේසියාවේ නැවතිලා ඉන්න කාලේ නිතරම යන්න පුරුදු වෙලා හිටපු කඩයක් තිබුනා,කඩේ කලේ කවුද දන්නේ නැහැ ඒත් එතන වැඩ කලේ ඉන්දියානු ජාතිකයෝ කිහිප දෙනෙක්,ඉතින් අපේ අසල්වැසියෝ නිසාමද කොහෙද දවස් දෙක තුනෙන්ම අපි අතරේ හොඳ ඇඳුනුම්කමකුත් තිබුනා.
දවසක් එතනදී මට තව අලුත් තරුණයෙක් අඳුනගන්න ලැබුණා,රමේෂ් නමින් ඉන්දියාවේ උපත ලබපු ඔහු මං දකින විදියට තරමක් විශේෂ තරුණයෙක්,ඒ විශේෂත්වය තමයි කවමදාවත් ලංකාවට පය නොගහපු ඔහුට ඉතා චතුර ලෙස සිංහල කතා කරන්නට හැකි වීම,ලංකාවේ සාමාන්‍ය දමිල ජාතියෙකු මෙන් වචන උච්චාරණය කරමින් ඔහු සිංහල කතා කරන ආකාරය ගැන ඇත්තටම මමත් මගේ යාලුවටත් පුදුමයට වගේම සතුටටත් පත් උනා.
මට මුලින්ම දැනගන්න ඕනේ උනා රමේෂ් කොහමද සිංහල කතා කරන්න පුළුවන් උනේ කියලා,ඔහුට අනුව මීට කලින් ඉන්දියාවේදී වැඩ කරලා තියෙන්නේ බලපිටියේ සිට ඉන්දියාවට ගොස් එහි ව්‍යාපාර කටයුතු කරගෙන හිටිය සිංහල ජාතික ව්‍යාපාරිකයෙක් ළඟ,රමේෂ් ඔහුගෙන් බොහොම හොඳට සිංහල කතා කරන්න ඉගෙන ගෙන තිබුනා,ඊට පස්සෙත් මං එහේ ගියාම "ආ... අයියා.. ආයිබෝං ආයිබෝං .. කොහමද ඉතින්" කියමින් කතාවට අවේ හරියට බොහොම සමීප සහෝදරයෙක් වගේ..
බොහොම ටික දවසකින් මං ඔහුට සමුදීල එහෙන් පිටවුණා,මට ආයිත් කවදාවත් ඔහු සමඟ කතා කරන්න ලැබෙන එකක් නැහැ,නමුත් කතා කරපු සීමිත වෙලාව තුල රමේෂ් මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තිබුනා,කවමදාකවත් ලංකාව නොදැකපු ඔහු තමන් ළඟ සිටි එකම සිංහල ජතිකයගෙන් බොහොම හොඳට සිංහල ඉගෙනගෙන,ඔහුගේ ඒ පුදුම සහගත උවමනාව ගැන මට හිතා ගන්නවත් බැහැ.
මට ඔහුත් සමඟ මා ඇතුළුව බහුතරයක් අපේ සිංහල ජනතාව සංසන්දනය කරලා බලන්න හිතුනා,ඔහුට වැඩ කරන්න ලැබුනේ එකම එක සිංහල ජාතිකයෙක් සමඟ විතරයි,ඒත් අපිට එහෙමද? අපි පොඩි කාලේ පාසල් ගිය දවසේ ඉඳන් අද වෙනකන් හැමදාමත් දමිල හෝ මුස්ලිම් ජාතික සහෝදර සහෝදරියන් සමඟ එකට ගැටෙමින් දවස ගෙවනවා,නමුත් සීමිත වචන කීපයක් හැරුනම අපි කීයෙන් කීදෙනාටද හොඳට දෙමළ කතා කරන්න පුළුවන්?
අපි හැමදාමත් කලේ අපේ සිංහලකමට පුහු ආඩම්බරයක් එකතු කරගෙන සෙසු ජාතීන් / භාෂාවල් නොවැදගත් ලෙස සලකපු එක විතරයි, ඉස්සර පාසලේදී අපේ ගුරුවරු අපිට දෙමළ භාෂාව උගන්නන්න කොච්චර උත්සහ කලත් අපි නෙමේ කනකටවත් ගත්තේ.අද බහුතරයක් අපිට පුළුවන් භාෂා දෙකයි, නමුත් අපේ දමිල/මුස්ලිම් සහෝදරයින් සියලු දෙනාම වගේ බොහොම හොඳට භාෂා තුනක්ම කතා කරමින් ලස්සනට සමාජයත් එක්ක මුහු වෙනවා.
මං නම් හිතන්නේ අපි සියලු දෙනාටම ශ්‍රී ලාංකිකයෝ හැටියට රටේ සිටින අනිකුත් ජාතීන්ගේ භාෂාවන්,සංස්කෘතික වටිනාකම් සහ වැදගත්කම් ගැන වෙනස් විදියට හිතන්න කාලය හරි. අපේ පුංචි රට වගේම මේ මුළු ලෝකෙම ලස්සන වෙලා තියෙන්නේ මේ සියලුම ජාතීන්ගේ එකතුවෙන්, මුළු ලෝකෙම එකම ජාතියකින් හැදිලා තිබුනා නම් එක මහා කම්මැලි, මෙලෝ රහක් නැති තැනක් වෙන්න තිබුනා.