“මහත්තයා තියෙනවනම් රුපියල් පහක් විතර දෙන්නකෝ..”
බස් නැවතුමේ බංකුවකට වී බසයක් එනතුරු කල්මරමින් හුන් මා එම හඬින් හිස ඔසවා බැලුවෙමි.බුලත් කහටින් දුර්වර්ණ වී ඉතුරු වුන දත් කිහිපයකින් යන්තම් සිනහවෙමින් මවෙත බලා සිටි ඔහුගේ ගත කිලිටි සරමකින්,කමිසයකින් වැසී තිබිණි.පනාවක කෙසේ වෙතත් බොහෝ කලකින් කතුරකවත් පහස නොලත් හිසකෙස් සහ තැනින් තැන වැවුණු අවපැහ රැවුල් ගස් ඔහුගේ අවලස්සන පෙනුම තව තවත් තීව්‍ර කරයි.ඔහු දුටු ගමනින් කවරෙක්දැයි හඳුනා ගැනීම අපහසු නොවුයේ අත්දැකීමෙන්ය.
“ඔහේ වාට්ටුවෙනේ ඉන්නේ? සල්ලි මොකටද?”
“දුන්කොලයක් ගන්න මහත්තයා..” බස් නැවතුමෙන් පිටත අව් රශ්මියට දැවෙමින්,සිටි ඉරියව්වෙන්ම හිටගෙන ඔහු පිළිතුරු දෙයි..
බස් රථයක් පැමිණීමට තව මඳ වෙලාවක් යතැයි හැඟුණින් ඔහුව කතාවට අල්ලා ගැනීමට සිතුවෙමි.
“දුන්කොළ?දුන්කොළ අරගෙන මොනවා කරන්නද?”
“අයියෝ මහත්තයා.. දුන්කොලේ අරන් ගිහින් ඔතලා බොනවනේ..” තරමක සමච්චල් සහගත සිනහවක් සමඟ පිළිතුරු දුන්නේ මගේ නොදැනුවත්කම ගැන විමතියට පත්වෙමින් වියයුතුය.
“ඒ කොහමද උන්නැහේ දුන්කොළ ඔතල බොන්නේ?” මට කතාව දිග්ගස්සන්නට අවැසි විය.
එම පැනයත් සමඟම විමතිය පලකරන බැල්මකින් මුව සරසා ගත් ඔහු බස් නැවතුම තුලට පැමිණ පසෙකින් වාඩිවිය..
“ඇයි දන්නේ නැද්ද? මං කියල දෙන්නම් මහත්තයට..” ඔහු තුලින් මට මැවී පෙනුනේ තමන් විසින් පාසලේදී ඉගෙන ගත් යමක් වැඩිහිටියෙකුට කියාපාන්නට තනන කුඩා දරුවෙකි..
“හ්ම්ම්.. කියන්නකෝ එහෙනම්..”
ඔහු තුල තමන් සතු දැනුම බෙදා ගැනීමට තිබුනේ නොමසුරු ආශාවකි,වහා ඔහුගේ පාඩම ඇරඹිණි.
“මෙන්න මෙහෙමයි මහත්තයා,දුන්කොලේ අරන් ගිහින් පොඩි පොඩි තීරු වලට කඩනවා හරිද.. ඊටපස්සේ ඔය කොහේ හරි කුණුබාල්දියකින් හොයාගන්නවා හොඳ කරදහි කොලයක්,එක ඇතුලට මෙන්න මෙහෙම දුන්කොළ ටික හිරවෙන්න තියලා තදට ඔතනවා.. බුරුල් වුනොත් හරි යන්නේ නැහැ මහත්තයා..”
ඔහු අතින් පයින් මෙන්ම හිසද කරකවමින් මට දුන්කොළ එතිල්ල කියාපායි..
“ඉතින් ඊට පස්සේ”
“ඊටපස්සේ මහත්තයෝ වාට්ටුවේ මහත්තුරුන්ට හොරෙන් මේක පත්තු කරගන්න ඕනේ.. පස්සේ හිමින් සැරේ ළඟ ඉන්න ඈයොන්ටත් ඩිංග ඩිංග දීල මාත් බොනවා..” ඔහුගේ මුහුණ දීප්තිමත් සිනහවකින් නැහැවුනි.
ඔහු සිඟා කමින් මුදල් එකතු කර මහත් පරිශ්‍රමයක් දරා දුන්කොලයක් ඔතාගෙන උරන්නේ ඉතා පහසුවෙන් දුම්වැටියක් හෝ අඩුම තරමින් බීඩිමිටියක් හෝ ගැනීමට වඩා එය ලාභ දායක නිසා විය යුතුය.නමුත් ඔහුට එසේ උපයා ගත් අනර්ඝ වස්තුව තනිවම බුක්ති විඳීමේ අදහසක් තුන් හිතකවත් නොතිබුණි.එය තමන් සමඟ සිටින සහෘදයන් සමඟ බෙදා හදා ගැනීමේ උතුම් ගුණය ඔහු තුල විය.
ඔහුට පිස්සෙක් යැයි ලේබලය ගසා වාට්ටුවේ හතර මායිමේ හිර කල සමාජය ඉන් පිටත සිට නොකඩවා ධනය වස්තුව රැස්කිරීමේ නොනිමෙන තරඟයක නියලී සිටිති.තවකෙකු හා බෙදා ගැනීමට නොව හැකි තරම් වීර්ය යොදමින් අන්‍යන්ගේ දේද තමා සතු කරගැනීමේ නිර්ලජ්ජිත ව්‍යායාමයක යෙදෙති. අනුන්ගේ දුක දැක හිත උණුවෙන,තමන් සතු දෙයක් තවකෙකුගේ යහපතට යොදවන අතලොස්සක් පමණ සිටින අතිශය ආත්මාර්ථකාමී සමාජයක අපි ජීවත් වෙමු.
මට ඔහුගෙන් දුන්කොළ එතිල්ල උගෙනීමෙන් ඇති පලක් නැත,මානසික රෝගියෙක් යැයි ලේබලය ගැසූ ඔහු මා හට කියාදුන් දේ මවිසින් දුන් මාරු කාසි කිහිපයෙන් මිළ කල නොහැක.ඒ අවංක අසරණයා තව නොබෝ දිනකින් වාට්ටුවේ බිත්ති හතර පමණක් නොව සියල්ල අත්හැර යනු ඇත.මනසින් නිරෝගී නමුත් ආකල්පමය වශයෙන් අසාධ්‍ය ලෙස රෝගී වුන සමාජ ප්‍රවාහයට හසු උන මා ඔහුගෙන් සමුගෙන බසයකට ගොඩ උනෙමි.
No comments:
Post a Comment