Wednesday, 24 October 2012

අපේ කතාව..


මං ඉපදුන දවසේ ඉඳලම ජීවත් උන පරිසරය ගැන තිබ්බේ මහ අමුතුම හැඟීමක්.මාව පරිසරයට ගැලපෙන්නේ නැද්ද පරිසරය මට ගැලපෙන්නේ නැද්ද කියන එකවත් මට හරියට තේරුම් ගන්න බැරුවයි තිබ්බේ.අඩුම තරමේ අවට පරිසරය තියා මගේම ඇඟේ තියෙන සමහර අවයවයන් මොකට තියෙනවද කියන එකවත් මට තේරුම් ගන්න බැරි උනා.මොකද ඒ අවයව වලින් මට කවදාවත් වැඩක් උනේ නැති නිසයි.
ඉවසලා බැරිම තැන ටිකක් යමක් කමක් තේරුම් යන කාලේදී මං අම්මගෙන් ඒ ගැන අහන්න හිතුවා.
“අම්මේ මොකටද මගේ කකුල් වල මේ විදියට ලොකු කුර ඇවිල්ලා තියෙන්නේ..?”
“ඒ පුතේ අපිට කාන්තාර වල වැල්ලේ එරෙන්නේ නැතුව ඇවිදින්න පුළුවන් වෙන්න නේ..”
“එතකොට මේ පිට මැද්දෙන් ලොකු මොල්ලියක් ඇවිල්ල තියෙන්නේ මොකටද..?”
“කාන්තාරේ හුඟක් දුර කෑම,වතුර නැතුව ඇවිදින්න වෙනවා,එතකොට ඕනේ වෙන්න ශක්තිය ගබඩා කර ගන්න තමයි මොල්ලිය තියෙන්නේ පුතා..”
“ඒ උනාට අම්මේ අපිට කාන්තාරේ ඇවිදින්න තියා අඩුම  ගානේ කාන්තාරයක් දකින්නවත් හම්බෙන්නේ නැහැනේ..?”
මං අහපු දේට අම්මට කියන්න දෙයක් තිබුනේ නැහැ.. ටිකක් වෙලා කල්පනාවේ හිටිය මගේ අම්මගේ ඇස් දෙක බලාගෙන ඉන්නකොට තෙත් වුනා.. ඒ හුඟක් ඉස්සර දුර රටක කාන්තාරයක තමන්ගේ දෙමව්පියෝ,සහෝදර සහෝදරියෝ එක්ක සතුටින් දුව පැනලා නිදහසේ ගත කරපු කාලය මතක් වෙලා වෙන්න ඇති කියලා මට පස්සේ දවසක හිතුනා.
තව ටික කාලයක් යනකොට මට මේ සේරම තේරුම් ගන්න පුළුවන් උනා.ඇත්තටම මටවත්,මගේ අම්ම තාත්තාටවත් ආයිත් ඒ පුරුදු නිදහස් ජීවිතයට යන්න වෙන්නේ නැහැ,සතුටින් සහෝදර සහෝදරියොත් එක්ක හිතුමතේට එහෙ මෙහෙ ඇවිදලා අහු උන දෙයක් කාල වැටුන තැන නිදාගෙන ගත කරපු සැබෑ ජීවිතේට යන්න වෙන්නේ නැහැ,අඩුම තරමේ මට ඒ ජීවිතේ මොකක්ද කියලවත් දැන ගන්න වෙන්නේ නැහැ..
එකට හේතුව මං ඉපදුනේ සත්ව උද්‍යානයක වුන එක,ඒක පාලනය කලේ මේ ලෝකේ දියුණුම සත්වයා තමන් කියලා හිතාගෙන උන්නු,ඇඳුම් ඇඳගත්තු සත්ව කොට්ඨාශයක්.උන්ට අනිත් සත්තු බලන්න සත්තුන්ගේ නිජ බිම් උන කැලෑ,කාන්තාර,ගංගා,මහ මුහුදට යන්න අමාරු නිසා අපි සේරම අල්ලාගෙන ඇවිල්ල නගරේ මැද්දේ කූඩු කරලා.උන්ට අඩු වියදමකින් අපිව බලාගෙන සතුටු වෙන්න අපේ මුළු ජීවිත කාලෙම මේ විදියට කෘතීම පරිසරයක පොඩි ඉඩ කඩක හිර කරලා.
නිල් අහස පුරා ඉමක් කොනක් නැතුව පියඹලා ගියපු කුරුල්ලන්ව යකඩ දැල් ගොඩක හිර කරලා අඩුම ගානේ උන්ට තටු දිග ඇරලා ඒක වටයක්වත් ගිහින් එන්න බැරි විදියට.. ගංගා ඇළ දොළ වල,මහ මුහුදේ රංචු පිටින් පීනපු මාළු හිර කරලා පොඩි වීදුරු ටැංකි වල,පොකුණු වල.. හරියට ඉර එලිය වත් වැටෙනේ නැති ගානට.කැලෑ පුරා දුව පැනපු සිය ගණනක් සත්තුන්ගේ නිදහස සිමෙන්ති බැම්මෙන්,යකඩ වැටෙන් සීමා කරලා.
අපිව මෙහෙම හිර කරලා තියන්න අපි කාටවත් කරදයක් කලේ නැහැ.. අපි කවුරුත් අපේ කැලේට,කාන්තාරෙට ගහට කොළට නිල් අහසට තනියෙන් අයිතිවාසිකම් කියන්න ගියේ නැහැ.. දුවිලි අවුස්සගෙන කැලේ පීරාගෙන ආපු සිහිල් සුලඟ අපි හැමෝම ඒක වගේ වින්දා.. පොලව හෝදගෙන ආපු වතුර මග මුහුදට ගලාගෙන යනකන් අපි හැමෝම තිබහට බිව්වා.. බිම් අඟලට ගහ මරා ගන්න ගියේ නැහැ..
නමුත් අපි කකුල් හතරෙන් යන නිසා,ඇඳුම් නොඅඳින නිසා අපේ නිදහස,අයිතිය අපිටත් නොදනිම අද නැති වෙලා,ඉන්න තැනක් තිබුනට,වෙලාවට කන්න ටික ලැබුනට ඒ සේරටම වඩා අපිට අපේ නිදහස කප්පරක් වටිනවා.මගේ අම්ම තාත්ත වගේම මේ ඉන්න සේරම සත්තු මේ හතර සීමාවේ තමන්ගේ මුළු ජීවිත කාලෙම කොටු වෙලා ඉඳලා මැරිලා යයි.
ලැජ්ජාව ඇඳුමෙන් වහගෙන තමන් ලෝකේ දියුණුම සතායි කියගත්තට උන්ගේ මනස මේ ටික තේරුම් ගන්න තරම් දියුණු නැතුව ඇති.එහෙම නැත්තන් ඒ තරමට දියුණු කර ගන්න ඕනේ නැතුව ඇති.

Tuesday, 24 July 2012

මාත් කන පරිප්පු..


පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා කියලා පැරැන්නෝ කියල තියෙන්නේ නිකන් නෙවෙයිනේ.පරිප්පුවක් හදා ගත්තම ලංකාවේ අපිට නම් ඉතින් වේල් තුනම ගොඩ. ඒ උනාට මෙහෙනම්  පරිප්පු ගිනි ගණන්,ඒක ගන්නත් යන්න ඕනේ හද්ද දුරක්..

කොහොමින් හරි ඕක ගත්ත කියමුකෝ,ඊට පස්සේ ඉතින් අංගොඩයා ඕක කන්නේ නිකන් රත්තරන් කනවා වගේ.. දැනට මාසෙකට විතර කලින් බලනකොට ඉතුරු වෙලා තිබ්බේ හුන්ඩුවක් විතර,පෙරේත කමට ඔය ටික දමල අරින්නත් ආසයි.. අයිත් ගෙන්න යන්න තියෙන දුර මතක් වෙනකොට ඉවර කරන්නත් ලෝබයි.. (ගානත් මතක් උනා) ඔන්න ඔහේ කියලා අරන් තිබ්බා පස්සේ විසේස දවසක හදනවා කියලා,තිබ්බා තිබ්බාමයි ඊයේ පෙරේදා වෙනකන් හාංකවිසයක්වත් මතක් උනේ නැහැ..

ලඟදි ඔන්න උයන්න මොකුත් නැතුව එහෙ මෙහෙ අතපත ගානකොට හම්බුනේ නැතැයි ඉතුරු වෙච්ච පරිප්පු මල්ල.. දැන් ඉතින් හංගලා තිබ්බ නිධානයක් පහල උනා වගේ.. පෙරේත කමට දිව බඩේ ගැවෙනවා..  දඩ බඩ ගාල සේරම ලෑස්ති කරලා ගත්ත පරිප්පුව හෝදලා ලිපේ තියන්න..

මීට කලින් කාපු පරිප්පුවක්.. 

හම්මටසිරි කිරි අප්පොට බල්ලෝ පැනපි කිව්වලු.. පරිප්පු හුන්ඩුවත් එක්ක ගුල්ලෝ හුන්ඩු දෙකක් විතර වතුරේ පාවෙනවා.. ආයේ මොනාද ඉතින් පරිප්පුවේ අදහස ඇත ඇරලා දැම්මා.. වැඩි ලෝබ කමට ගිහිල්ලා අන්තිමේ කන්න තිබ්බ පරිප්පුවත් නැහැ,ඒ මදිවට ප්‍රාණඝාත අකුසලයකුත් කරගත්තා..

අන්තිමේ ඉගෙනගත්ත පාඩම තමයි පරිප්පු නෙමෙයි රත්තරන් උනත් ඕනේ වෙලාවට පාවිච්චි කරේ නැත්තන් ඒක එගොඩටත් නැහැ මෙගොඩටත් නැහැ.. කෙලින්ම දෙගොඩ තලා යන වතුරේ..

Thursday, 21 June 2012

ක්‍රීඩාව,හැසිරීම සහ පුහු මාන්නය..


මෙම ලිපිය ලියන්නට දැන් ප්‍රමාද නමුත් මගේ සිතේ පවතින දේ කොහේ හෝ ලියාතැබිය යුතුය.ටික දිනකට පෙර මා හට ඉතා සතුටුදායක ආරංචියක් අසන්නට ලැබිණි.එනම් අපගේ ශ්‍රී ලංකික රගර් කණ්ඩායම තරඟාවලියක් සඳහා මෙහි එන බවය.එය එතරම් සතුටුදායක වන්නට කාරණා කිහිපයකි.

එනම් මා දැනට සේවය කරන රට එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව මෙන් පඳුරකට ගැසුවත් ශ්‍රී ලාංකිකයන් දහයක් පහළවක් විසිවෙන රටක් නොව සිටිය හැකි සියලුම ලක් වැසියන්ගේ සංඛ්‍යාව දෙසීයකටත් අඩු මිස වැඩි නම් විය නොහැකි රටකි.එවැනි රටක ශ්‍රී ලාංකිකයන් දහ පහළොස් දෙනෙකුගෙන් යුතු මිතුරු සමාගමක් ඇති කරගැනීම පවා එතරම් ලෙහෙසි පහසුදෙයක් නොවේ.

ඇරත් මෙවන් රටකට ශ්‍රී ලංකාවේ රගර් කණ්ඩායම අන්තර්ජාතික තරඟයකට පැමිණීම සුලභ කටයුත්තක්ද නොවේ.මන්ද අපේ ක්‍රිකට් කණ්ඩායමට මෙන් ඔවුන්ට නිතරම එවන් අවස්ථාවන් උදා නොවීමය.ඉතා සුළුතරයක් වූ අප ශ්‍රී ලාංකිකයන් පිරිස එකතු වී හැකි උපරිමයෙන් ඔවුනට සහය දැක්වීම එක අතකින් ලද භාගයක් ලෙස සැලකුවෙමි.

තරඟය නැරඹීමට සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස සියයකටත් අඩුවිය.නමුත් හැකි උපරිමයෙන් අප කණ්ඩායමට සහය දුන්නෙමු.පළමු තරඟ දෙකම ඔවුන් ජය ගත්තේ අප අතිශයින්ම සතුටු කරමින්ය.එම ජයග්‍රහණයට හේතුව අප කණ්ඩායමේ දක්ෂතාවය හෝ අනිකුත් කණ්ඩායම් වල දුර්වතාවය හෝ වේවා එහි ගෞරවය ඔවුනට හිමිවිය යුතුය.

එක් තරඟයකදී අපගේ එක් රජ කුමරෙක් අවසන් භාගයේ තරඟ බිමට පිවිස මඳ වෙලාවක් එහෙ මෙහෙ දුව ගොස් පසුව නැවත බංකුවට වී සිටිනු දුටුවෙමි.නිකන්ම නොව බෙල්ල වටේ කොලරයක්ද දමාගෙනය.එසේ හෝ රජපවුල නියෝජනය කිරීම ගැන අපට ආඩම්බර විය හැක්කේ වෙන කිසිම රටක සුදුසුකම් ඇතුව හෝ නැතුව රජ පැටවකු ජාතික කණ්ඩායමක් නියෝජනය කරනු මවිසින් අසා නැති බැවිනි.සමහරවිට ප්‍රසිද්ධ කිරීමට ලජ්ජා නිසා ඔවුන් හොරෙන් ක්‍රීඩා කරනවා විය හැකි නමුත් අපේ රජ පැටවුන් ලැජ්ජාව නොහඳුනති. කණ්ඩායම නියෝජනය කරන්නේ කවුරුන් හෝ වේවා ඉන් මා හට වැඩක් නොමැත.

අවසන් තරඟයට පෙර සිටම අපගේ ක්‍රීඩකයන් රටේ නම ඉහලට නැංවීමට මහත් උත්සාහයක් දරා ඇති බව පසුව අසා දැන ගතිමි.අසන්නට ලැබුන හැටියට දේශානුරාගයේ ඉහලටම කෙල පැමිණි එක් ක්‍රීඩකයෙක් ඉතා සාඩම්බර ලෙස අප කණ්ඩායමේ සහයට සිටි මෙරට ජාතික තරුණියකට හෝටලය තුල අතවර කිරීමට තැත් කොට මව්රටට මහත් කීර්තියක් අත් කර දී තිබිණි.අවසානයේ තරඟ තහනමකින් පමණක් නොනැවතී ලැගුම් ගෙන සිටි හෝටලයෙන්ද දොට්ට දැමීමෙන් අනතුරුව පළමු ගුවන් යානයෙන්ම මව්රට බලා යන්නට සිදුවිය.යන තැන රී ගන්නවා කියන්නේ මෙවැනි වැඩ වලටය.

අවසන් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ටත් වඩා පිටිය තුල දුව පනින්න සිදු වූයේ අප කණ්ඩායමේ භෞතික චිකිත්සකවරයාටය.ඒ පිටියේ තැන තැන වැටී සිටි අප ක්‍රීඩකයන්ගේ සහයටය.කිසිදු කණ්ඩායම් හැඟීමකින් තොරව,පිටියේ තැන තැන වැටි වැටි හති අරිමින් අතිශය දුර්වල ක්‍රීඩා විලාසය කියා පෑවේ ඔවුන්ගේ විවේක දිනවල ලද අතිරේක ව්‍යායාම වල ප්‍රතිපල යැයි මාගේ අදහසය.

කෙසේ හෝ වේවා මෙරට කණ්ඩායමට ජය අත්කර දෙමින් තරඟය නිම විය.අවසන් තරඟයේදී හමුවුන ශ්‍රී ලාංකිකයෙක් කියූ කතාවක් මා හට සිහි වෙයි,

“මචං මට නම් මේ සෙල්ලම ගැන මෙලෝ තේරුමක් නැහැ,ලංකාවේ කණ්ඩායමක් නිසයි බලන්න අවේ..”

එසේ පැමිණි ක්‍රීඩා ලෝලීන්ට අප කණ්ඩායම සැලකු අකාරය ගැන ඔවුන් ලජ්ජා විය යුතුය.ඒ තරඟය පැරදුන නිසා නොවේය.ජය හෝ පරාජය කුමක් හෝ වේවා ඒ ගැන අපිට දුක නැත.දුක් වෙන්නේ අප කණ්ඩායමේ ආකල්පය ගැනය.

ඔවුන් සිතනු ඇත්තේ රගර් ක්‍රීඩකයින් වීම යනු අතිශය ආඩම්බර විය හැකි කරුණක් කියා වෙන්නට ඇත.හැකි තරමින් කොඩි වනමින්,කෑ ගසමින් ඔවුනට දිරිදුන් සහෝදර ශ්‍රී ලාංකික පිරිස ගැන තරඟයෙන් පසු කිසිම තැකීමක් නොකළේ එම නිසා විය හැක.සිය අත ඔසවා වරක් දෙවරක් අප සිටින දෙසට වැනීම ඔවුනට කිසිසේත්ම වෙහෙසකර දෙයක් විය නොහැක.තරඟය අවසානයේ ඔවුන් අතරට බට මෙරට ගරු ශ්‍රී ලංකා තානාපතිවරයා ගැනවත් ඔවුන් තැකීමක් කලාදැයි සැක සහිතය. අඩුම තරමින් හිස ඔසවා අප වෙත සිනහවකින් හෝ සංග්‍රහ නොකර සිටීමට තරම් පුහු මාන්නයකින් හිස උදුම්මවා ගත් අපේ “ලෝඩ් පකීර්ලා” ගැන දුක් වෙමි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයක් අවසානයේ,ගරු තානාපතිතුමා පසකින් සිටී.


නිහතමානීව පරාජය පිළිගැනීම හොඳ ක්‍රීඩකයකු සතුවිය යුතු ගුණාංගයක් යැයි විශ්වාස කරන්නෙමි.එසේ නොවුන බොහෝ ශ්‍රී ලංකික ක්‍රීඩකයින්ට මෙරට කණ්ඩායමෙන් ඉගෙනගතයුතු දේ බොහාමයක් ඇත.කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීම පළමුවැන්නයි.දේශපාලනය ක්‍රීඩාවට ඈදා නොගැනීම අප රට තුල කල හැකිදැයි සැක සහිතය.තවද තරඟය අවසානයේ රැස්ව සිටි මුලු පිරිසටම හදවතින්ම ආචාර කිරීමට තරම් මෙරට ක්‍රීඩකයින් නිහතමානී විය.ඉන් නොනැවතී නරඹන්නන් අතරට වැදී ඔවුන් සමඟ කතා බස් කරමින්,ජයාරූප ගනිමින් තමන්ට දිරි දුන් රටවැසියන්ට කළගුණ දැක්වීමට ඔවුන් උගෙනගෙන සිටියේය.

පැරදීම ගැන සිහින් දුකකුත් අප ක්‍රීඩකයින්ගේ ආකල්ප ගැන මහත් ලැජ්ජාවකුත් සිතින් දරාගෙන පිටියෙන් එලියට බැස්සෙමි.අපගේම මුදල් වලින් මිලට ගත් ගුවන්ටිකට් පත් වලින් පුහු මානක්කාර ශ්‍රී ලාංකික ක්‍රීඩක පිරිස සිය රට වෙත යනු ඇත.

Wednesday, 20 June 2012

දුන්කොළ..


“මහත්තයා තියෙනවනම් රුපියල් පහක් විතර දෙන්නකෝ..”
බස් නැවතුමේ බංකුවකට වී බසයක් එනතුරු කල්මරමින් හුන් මා එම හඬින් හිස ඔසවා බැලුවෙමි.බුලත් කහටින් දුර්වර්ණ වී ඉතුරු වුන දත් කිහිපයකින් යන්තම් සිනහවෙමින් මවෙත බලා සිටි ඔහුගේ ගත කිලිටි සරමකින්,කමිසයකින් වැසී තිබිණි.පනාවක කෙසේ වෙතත් බොහෝ කලකින් කතුරකවත් පහස නොලත් හිසකෙස් සහ තැනින් තැන වැවුණු අවපැහ රැවුල් ගස් ඔහුගේ අවලස්සන පෙනුම තව තවත් තීව්‍ර කරයි.ඔහු දුටු ගමනින් කවරෙක්දැයි හඳුනා ගැනීම අපහසු නොවුයේ අත්දැකීමෙන්ය.
“ඔහේ වාට්ටුවෙනේ ඉන්නේ? සල්ලි මොකටද?”
“දුන්කොලයක් ගන්න මහත්තයා..” බස් නැවතුමෙන් පිටත අව් රශ්මියට දැවෙමින්,සිටි ඉරියව්වෙන්ම හිටගෙන ඔහු පිළිතුරු දෙයි..
බස් රථයක් පැමිණීමට තව මඳ වෙලාවක් යතැයි හැඟුණින් ඔහුව කතාවට අල්ලා ගැනීමට සිතුවෙමි.
“දුන්කොළ?දුන්කොළ අරගෙන මොනවා කරන්නද?”
“අයියෝ මහත්තයා.. දුන්කොලේ අරන් ගිහින් ඔතලා බොනවනේ..” තරමක සමච්චල් සහගත සිනහවක් සමඟ පිළිතුරු දුන්නේ මගේ නොදැනුවත්කම ගැන විමතියට පත්වෙමින් වියයුතුය.
“ඒ කොහමද උන්නැහේ දුන්කොළ ඔතල බොන්නේ?” මට කතාව දිග්ගස්සන්නට අවැසි විය.
එම පැනයත් සමඟම විමතිය පලකරන බැල්මකින් මුව සරසා ගත් ඔහු බස් නැවතුම තුලට පැමිණ පසෙකින් වාඩිවිය..
“ඇයි දන්නේ නැද්ද? මං කියල දෙන්නම් මහත්තයට..” ඔහු තුලින් මට මැවී පෙනුනේ තමන් විසින් පාසලේදී ඉගෙන ගත් යමක් වැඩිහිටියෙකුට කියාපාන්නට තනන කුඩා දරුවෙකි..
“හ්ම්ම්.. කියන්නකෝ එහෙනම්..”
ඔහු තුල තමන් සතු දැනුම බෙදා ගැනීමට තිබුනේ නොමසුරු ආශාවකි,වහා ඔහුගේ පාඩම ඇරඹිණි.
“මෙන්න මෙහෙමයි මහත්තයා,දුන්කොලේ අරන් ගිහින් පොඩි පොඩි තීරු වලට කඩනවා හරිද..  ඊටපස්සේ ඔය කොහේ හරි කුණුබාල්දියකින් හොයාගන්නවා හොඳ කරදහි කොලයක්,එක ඇතුලට මෙන්න මෙහෙම දුන්කොළ ටික හිරවෙන්න තියලා තදට ඔතනවා.. බුරුල් වුනොත් හරි යන්නේ නැහැ මහත්තයා..”
ඔහු අතින් පයින් මෙන්ම හිසද කරකවමින් මට දුන්කොළ එතිල්ල කියාපායි..
“ඉතින් ඊට පස්සේ”
“ඊටපස්සේ මහත්තයෝ වාට්ටුවේ මහත්තුරුන්ට හොරෙන් මේක පත්තු කරගන්න ඕනේ.. පස්සේ හිමින් සැරේ ළඟ ඉන්න ඈයොන්ටත් ඩිංග ඩිංග දීල මාත් බොනවා..” ඔහුගේ මුහුණ දීප්තිමත් සිනහවකින් නැහැවුනි.
ඔහු සිඟා කමින් මුදල් එකතු කර මහත් පරිශ්‍රමයක් දරා දුන්කොලයක් ඔතාගෙන උරන්නේ ඉතා පහසුවෙන් දුම්වැටියක් හෝ අඩුම තරමින් බීඩිමිටියක් හෝ ගැනීමට වඩා එය ලාභ දායක නිසා විය යුතුය.නමුත් ඔහුට එසේ උපයා ගත් අනර්ඝ වස්තුව තනිවම බුක්ති විඳීමේ අදහසක් තුන් හිතකවත් නොතිබුණි.එය තමන් සමඟ සිටින සහෘදයන් සමඟ බෙදා හදා ගැනීමේ උතුම් ගුණය ඔහු තුල විය.
ඔහුට පිස්සෙක් යැයි ලේබලය ගසා වාට්ටුවේ හතර මායිමේ හිර කල සමාජය ඉන් පිටත සිට නොකඩවා ධනය වස්තුව රැස්කිරීමේ නොනිමෙන තරඟයක නියලී සිටිති.තවකෙකු හා බෙදා ගැනීමට නොව හැකි තරම් වීර්ය යොදමින් අන්‍යන්ගේ දේද තමා සතු කරගැනීමේ නිර්ලජ්ජිත ව්‍යායාමයක යෙදෙති. අනුන්ගේ දුක දැක හිත උණුවෙන,තමන් සතු දෙයක් තවකෙකුගේ යහපතට යොදවන අතලොස්සක් පමණ සිටින අතිශය ආත්මාර්ථකාමී සමාජයක අපි ජීවත් වෙමු.
මට ඔහුගෙන් දුන්කොළ එතිල්ල උගෙනීමෙන් ඇති පලක් නැත,මානසික රෝගියෙක් යැයි ලේබලය ගැසූ ඔහු මා හට කියාදුන් දේ මවිසින් දුන් මාරු කාසි කිහිපයෙන් මිළ කල නොහැක.ඒ අවංක අසරණයා තව නොබෝ දිනකින් වාට්ටුවේ බිත්ති හතර පමණක් නොව සියල්ල අත්හැර යනු ඇත.මනසින් නිරෝගී නමුත් ආකල්පමය වශයෙන් අසාධ්‍ය  ලෙස රෝගී වුන සමාජ ප්‍රවාහයට හසු උන මා ඔහුගෙන් සමුගෙන බසයකට ගොඩ උනෙමි.

ලංකාවේ අපි...


එක දවසක් යාලුවෝ තුන් දෙනෙක් ගියාලු පිරිමි වැසිකිලියකට පොඩි චූ පාරක් දාන්න කියල,මේගොල්ලෝ යාලුවෝ කිව්වට රටවල් තුනක කස්ටියලු,එක්කෙනෙක් අමෙරිකාවෙන්,අනිකා චීනෙන්. අන්තිම පොර අපේ ශ්‍රී ලංකාවේම පොරක් ලු.

ඔන්න ඉතින් මුලින්ම වැඩේ ඉවර වෙලා ඇමෙරිකාවේ යාළුවා “අපි නම් හැමදාම හොඳට පිරිසිඳුවට ඉන්න ජාතියක්” කියල වැලමිට ට විතර වෙනකන් හොඳට සබන් ගාලා අත් දෙක හෝදගෙන toilet paper රෝලෙනුත් බාගයක් විතර ඉවර වෙනකන් හොඳට අත් දෙක පිහිද ගත්තලු.

ඊළඟට අපේ චිනේ යාලුවත් වැඩේ ඉවර වෙලා කියනවලු “අපිත් පිරිසිඳුවට ඉන්නවා තමයි, හැබැයි අපි පුළුවන් තරම් අඩුවෙන් සම්පත් භාවිතා කරලා, ඉතුරු කරන්න ඕනේ අනාගත පරපුර වෙනුවෙන්”.එහෙම කියල පොර යන්තං අත සෝදාගෙන පොඩි කොළ කෑල්ලක් ඉරාගෙන අත් දෙක පිහිද ගත්තලු.

අන්තිමට වැඩේ ඉවර කරපු අපේ පොරට දෙකොනින් හිනාලු මුන් දෙන්නගේ මල විකාර දැකලා,මිනිහ කලිසමේ zipper එක වාහන ගමන් කියනවලු “ලංකාවේ අපි නම් අත් දෙකේ චූ කර ගන්නේ නැහැනේ..”

Saturday, 10 March 2012

අපි ඉන්නේ කොතනද..

අපිට එදිනෙදා හමුවෙන සමහරක් පුද්ගලයින්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් කියල මට සමහර වෙලාවට හිතෙනවා, මේකත් එහෙම හිතුන අත්දැකීමක් නිසා ලියන්න හිතුනා.

මං මීට ගොඩ කාලෙකට කලින් මැලේසියාවේ නැවතිලා ඉන්න කාලේ නිතරම යන්න පුරුදු වෙලා හිටපු කඩයක් තිබුනා,කඩේ කලේ කවුද දන්නේ නැහැ ඒත් එතන වැඩ කලේ ඉන්දියානු ජාතිකයෝ කිහිප දෙනෙක්,ඉතින් අපේ අසල්වැසියෝ නිසාමද කොහෙද දවස් දෙක තුනෙන්ම අපි අතරේ හොඳ ඇඳුනුම්කමකුත් තිබුනා.

දවසක් එතනදී මට තව අලුත් තරුණයෙක් අඳුනගන්න ලැබුණා,රමේෂ් නමින් ඉන්දියාවේ උපත ලබපු ඔහු මං දකින විදියට තරමක් විශේෂ තරුණයෙක්,ඒ විශේෂත්වය තමයි කවමදාවත් ලංකාවට පය නොගහපු ඔහුට ඉතා චතුර ලෙස සිංහල කතා කරන්නට හැකි වීම,ලංකාවේ සාමාන්‍ය දමිල ජාතියෙකු මෙන් වචන උච්චාරණය කරමින් ඔහු සිංහල කතා කරන ආකාරය ගැන ඇත්තටම මමත් මගේ යාලුවටත් පුදුමයට වගේම සතුටටත් පත් උනා.

මට මුලින්ම දැනගන්න ඕනේ උනා රමේෂ් කොහමද සිංහල කතා කරන්න පුළුවන් උනේ කියලා,ඔහුට අනුව මීට කලින් ඉන්දියාවේදී වැඩ කරලා තියෙන්නේ බලපිටියේ සිට ඉන්දියාවට ගොස් එහි ව්‍යාපාර කටයුතු කරගෙන හිටිය සිංහල ජාතික ව්‍යාපාරිකයෙක් ළඟ,රමේෂ් ඔහුගෙන් බොහොම හොඳට සිංහල කතා කරන්න ඉගෙන ගෙන තිබුනා,ඊට පස්සෙත් මං එහේ ගියාම "ආ... අයියා.. ආයිබෝං ආයිබෝං .. කොහමද ඉතින්" කියමින් කතාවට අවේ හරියට බොහොම සමීප සහෝදරයෙක් වගේ..

බොහොම ටික දවසකින් මං ඔහුට සමුදීල එහෙන් පිටවුණා,මට ආයිත් කවදාවත් ඔහු සමඟ කතා කරන්න ලැබෙන එකක් නැහැ,නමුත් කතා කරපු සීමිත වෙලාව තුල රමේෂ් මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තිබුනා,කවමදාකවත් ලංකාව නොදැකපු ඔහු තමන් ළඟ සිටි එකම සිංහල ජතිකයගෙන් බොහොම හොඳට සිංහල ඉගෙනගෙන,ඔහුගේ ඒ පුදුම සහගත උවමනාව ගැන මට හිතා ගන්නවත් බැහැ.

මට ඔහුත් සමඟ මා ඇතුළුව බහුතරයක් අපේ සිංහල ජනතාව සංසන්දනය කරලා බලන්න හිතුනා,ඔහුට වැඩ කරන්න ලැබුනේ එකම එක සිංහල ජාතිකයෙක් සමඟ විතරයි,ඒත් අපිට එහෙමද? අපි පොඩි කාලේ පාසල් ගිය දවසේ ඉඳන් අද වෙනකන් හැමදාමත් දමිල හෝ මුස්ලිම් ජාතික සහෝදර සහෝදරියන් සමඟ එකට ගැටෙමින් දවස ගෙවනවා,නමුත් සීමිත වචන කීපයක් හැරුනම අපි කීයෙන් කීදෙනාටද හොඳට දෙමළ කතා කරන්න පුළුවන්?

අපි හැමදාමත් කලේ අපේ සිංහලකමට පුහු ආඩම්බරයක් එකතු කරගෙන සෙසු ජාතීන් / භාෂාවල් නොවැදගත් ලෙස සලකපු එක විතරයි, ඉස්සර පාසලේදී අපේ ගුරුවරු අපිට දෙමළ භාෂාව උගන්නන්න කොච්චර උත්සහ කලත් අපි නෙමේ කනකටවත් ගත්තේ.අද බහුතරයක් අපිට පුළුවන් භාෂා දෙකයි, නමුත් අපේ දමිල/මුස්ලිම් සහෝදරයින් සියලු දෙනාම වගේ බොහොම හොඳට භාෂා තුනක්ම කතා කරමින් ලස්සනට සමාජයත් එක්ක මුහු වෙනවා.

මං නම් හිතන්නේ අපි සියලු දෙනාටම ශ්‍රී ලාංකිකයෝ හැටියට රටේ සිටින අනිකුත් ජාතීන්ගේ භාෂාවන්,සංස්කෘතික වටිනාකම් සහ වැදගත්කම් ගැන වෙනස් විදියට හිතන්න කාලය හරි. අපේ පුංචි රට වගේම මේ මුළු ලෝකෙම ලස්සන වෙලා තියෙන්නේ මේ සියලුම ජාතීන්ගේ එකතුවෙන්, මුළු ලෝකෙම එකම ජාතියකින් හැදිලා තිබුනා නම් එක මහා කම්මැලි, මෙලෝ රහක් නැති තැනක් වෙන්න තිබුනා.



රත්නපුර පාර…


මේ කතාව ඇත්තටම මමයි මගේ හොඳම යලුවෙකුයි දවසක් මුහුණ දුන්න සිද්දියක්,මේක කියවල ගන්න තරම් දෙයක් වත්,හිනායන දෙයක් වත් නොවුනත් මං මේක ලියන්න අදහස් කලේ මං මේ කියන්න යන විදියේ මිනිස්සුත් අපේ සමාජයේම එහේ මෙහේ කොන් වල තනිවෙලා,අසරණ වෙලා ඉන්නව බව පොඩ්ඩක් මතක් කරන්න..
මගේ ගම ඇත්තටම අංගොඩ,ඉතින් අංගොඩ කිව්වම රටේ ඕනේ තැනක පොඩි එකෙක් උනත් දන්නවනේ මෙහෙ මොකක්ද තියෙන්නේ කියල.. රටේ අනිත් අයට මහා අමුතු විහිළුවක් උනාට අපිට නම් අංගොඩ මානසික සෞඛය විද්‍යායතනය එහෙමත් නැත්තම් සරලව කිව්වොත් පිස්සන් කෝටුව කියන්නේ සාමාන්‍ය දෙයක්,මං කියන්න යන්නෙත් එකට සම්බන්ද කතාවක්ම තමයි..
මේක උනේ අපි A/L ඉවරවෙලා රස්තියාදු වේවි හිටපු කාලේ,ඔන්න දවසක් මං මගේ යාලුවත් එක්ක ටිකක් රෑ වෙනකන් රවුමක් ගහලා 9.30 ට විතර පාගල් එකේ ගෙදර එනවා,අපි ඔය යන පාරේම කිලෝමීටරයක් විතර ඉස්සරහින් තමයි රෝහල තියෙන්නේ,ඔහොම ටික දුරක් යනකොට අපි දැක්කා කලුවරේම මිනිහෙක් අපේ පැත්තට එනවා කමිසයකුත් නැතුව,මිහිහ අපේ ඉස්සරහට ඇවිත් අහනවා මල්ලි මේ පාරෙන් දැන් රත්නපුරේට කිට්ටුද?”
මිනිහගේ කතා විලාසයෙන්ම අපි දැනගත්තා කවුද කියලා,හැබැයි ඉතින් කලබල කරලත් බැහැනේ,ඔව් ලඟයි කියලා මිනිහට යන්න අරින්නත් බැහැ,අපි පාගල් එක නවත්තලා බැහැල මිනිහට කතා කලා,
අයියේ මේ පාරෙන් රත්නපුරේ යන්න බැහැනේ,රත්නපුර පාර තියෙන්නේ අනිත් පැත්තේ.. යන්කො අපිත් එක්ක අපි පෙන්නන්නම්.. අපි හිමින් සැරේ මිනිහව ආයිත් රෝහල පැත්තටම හරවගෙන පයින්ම ඒ පැත්තට යන්න ගත්තා..
දැන් මගෙයි යාලුවගෙයි අදහස හිමින් සැරේ මිනිහව අයිත් රෝහලටම අරගෙන ගිහින් බාර දෙන්න,එහෙම කරන්න හිතුවේ අපිට තියෙන අමාරුවකට නෙමෙයි.. ඒක යුතුකමක් කියල හිතුන නිසා,ඉතින් අපි දැන් චාටුවෙන් කතා කර කර මිනිහව අර පැත්තට අවිද්දනවා..
අයියා මොකද හදිස්සියේ රත්නපුරේ යන්නේ?
එහේ මගේ ගම මල්ලි,මට ආයිත් යන්න ඕනේ.. මෙහෙ ඉන්න බැහැ මල්ලි..
ඇයි අයියා මෙහෙ කොහෙද ඉන්නේ?
මං ඉන්නේ වාට්ටුවේනේ මල්ලි.. එහේ ඉන්න බැහැ අප්පා.. එහේ ඉන්න සමහර අයියලා මට ගහනවා,මගේ කෑම ටිකත් කනවා මල්ලි.. මාව බලන්න ගෙදරින්වත් කවුරුත් එන්නේ නෑනේ..
ඉතිං ඔයාව කවුද මෙහේ එක්කන් අවේ?
මං අපේ අම්මත් එක්ක ආවේ,මට ආයිත් අම්මත් එක්ක යන්න දුන්නෙම නැනේ මේගොල්ලෝ.. මං අද කොහම හරි යනවා අම්මව බලන්න..
ඉතිං අයියා මෙහෙ එන්න කලින් මොකද කලේ?
අහ්.. මං නාවික හමුදාවෙනේ හිටියේ..  ගාලු වාරයේ මාළුත් ඇල්ලුවා අපි..
ඇත්තද.. මෙහෙමයි අයියේ ඔයාට දැන් මේ රෑ රත්නපුරේ යන්න බැහැ,ගොඩක් දුරයි,ඔයා ආයිත් වාට්ටුවට ගිහින් නිදාගන්න,අපි ඔයාගේ අම්මට හෙට උදේම එන්න කියන්නම්කො..
අපි ඉතිං ඔය විදියට හිමින් සැරේ මිනිහව අයිත් රෝහල ළඟටම අරන් ඇවිත් ආරක්ෂක අංශයටත් කතා කරලා කොහමහරි ආයිත් ඇතුලට යැව්වා..
ඒ යනකොටත් ආයිත් අපි දිහා බලලා මල්ලි එහෙනම් අම්මට එන්න කියන්න හොඳේ..
හරි අයියේ අපි අම්මට කියන්නම්කො..
මල්ලි,අම්ම මට ලොකු බත් එකකුත් ගේයි නේ…   ඔව් අයියේ
මිනිහ ඇතුලට ගියාට පස්සේ ආයිමත් තමන්ගේ සුපුරුදු ඉරණම විඳින්න ඇති,එත් අපිට ඒ සහෝදරයා වෙනුවෙන් ඊට වඩා දෙයක් කරන්න බැහැ,අපි එදා කලේ ඔහු වෙනුවෙන් කරන්න තිබුන හොඳම දේ කියල හිතෙනවා,මොකද මිනිහා පාර දිගේ රත්නපුරේ යන්න ගියානම් මිනිහට මේ ආත්මේදී යන්න බැරිවෙනවා,පාර දිගේ වාත වෙලා,ගිණි අව්වට කර වෙලා අන්තිමට මිනිහට නවතින්න වෙන්නේ කොහේ හරි හන්දියක පිස්සු හිඟන්නෙක් වෙලා..
මොකද එහෙම වෙච්ච මිනිස්සුත් ඕනේ තරම් අපි දැකල තියෙනවා,අපි එදා රෑ බොරු කියලා ම්නිහව රැවැට්ටුවට අපිට සමාව ලැබෙයි කියලත් හිතනවා